බදුල්ල රදගුරු වසමේ යටගියාවත - 1 වන කොටස

රදගුරු වසමේ නම – බදුල්ල
ලාංකේය රදගුරු පරපුරේ සත් වන රදගුරු වසම
වර්ග ප්රමාණය – වර්ග කිලෝමීටර 8,500
අයත් වන දිස්ත්රීක්කයන් – බදුල්ල සහ මොණරාගල
පදවියක් ලෙස ස්ථාපිත වුයේ – 1972 දෙසැම්බර් මස 18 වන දින
පදවියේ නාම සාන්තුවරිය – අති ශුද්ධවූ ජපමාලයේ අප ස්වාමිදු
පදවියේ ආසන දෙව්මැදුර – අති ශුද්ධවූ ජපමාලයේ අප ස්වාමිදුගේ ආසන දෙව්මැදුර , බදුල්ල
දිසාවන් – 03 ( බණ්ඩාරවෙල, බදුල්ල සහ මොණරාගල )
මීසම් සංඛ්යාව – 21
පදවි සිද්ධස්ථාන –
මහවැලි මාතා සිද්ධස්ථානය – ලත්පඳුර
ශා. අන්තෝනි මුනි සිද්ධස්ථානය – උල්හිටියාව
පදවියට පසුබිම දුන් ධර්මදුතවරු – ගෝවේ ඔරතෝරියාන නිකාය සහ සිල්වෙස්ත්රෝ බෙනදිකාන නිකාය
සටහන – අසේල දසනායක

බදුල්ල රදගුරු වසමේ යටගියාවත - 2 වන කොටස

පළමු රදගුරු – අති උතුම් ලියෝ නානායක්කාර (සා.බෙ.නි.) හිමිපාණෝ ( 1972. 12. 18 – 1982. 05. 28 )
1917 නොවැම්බර් මස 26 දින කොන්රඩ් ජෙරාඩ් නානායක්කාර නමින් පොල්ගහවෙලදී උපත ලැබූ මෙතුමෝ සිය මුලික අධ්යාපනයෙන් පසුව තරුණ වියේදී රජයේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කොට සිල්වෙස්ත්රෝ බෙනදිකාන නිකායට බැදී , මෙතුමෝ “ලියෝ” යන පැවිදි නමින් සිල්වෙස්ත්රෝ බෙනදිකාන තාපස ජිවිතයට ඇතුළත් විය. 1950 පෙබරවාරි මස 10 වන දින අති උතුම් බර්නාඩ් රෙඤ්ඤෝ (සා.බෙ.නි.) හිමිපාණන් අතින් මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේදී පුජකවරය ලැබූ මෙතුමන්ගේ පළමු පත්වීම වූයේ කටුගස්තොට ශා. අන්තෝනි විදුහලේ නේවාසිකාගාරය භාර උප-ප්රධාන පුජාප්රසාදීතුමන් ලෙස සේවය කිරීමටය. පසුව එහි ප්රධාන අධ්යක්ෂක පුජාප්රසාදීතුමන් ලෙස මෙන්ම ප්රාථමික අංශය භාර පුජාප්රසාදීතුමන් වශයෙන්ද පාසැල් දරුවන් සමග කටයුතු කිරීමට ගෞ. ලියෝ නානායක්කාර පුජාප්රසාදීතුමන්ට භාර විය. සිය පුදැදුරුධුරයේ 10 වන සපිරිමටත් පෙරාතුව පුජකවරයේ පුර්ණත්වය වුයේ රදගුරු ධුරය ලබන්නට මෙතුමා වාසනාව ලැබිය. ඒ අති උතුම් බර්නාඩ් රෙඤ්ඤෝ (සා.බෙ.නි.) හිමිපාණන්ගේ විශ්රාම ගැනීමත් සමගය. 1958 සැප්තැම්බර් මස 24 වන දින මහනුවර රදගුරු වසමේ සිව් වන රදගුරුවරයා ලෙස ශුද්ධාසනය විසින් නම් කරනු ලදුව මෙතුමන්ගේ රදගුරු අභිෂේකය 1958 ඔක්තෝම්බර් මස 03 වන දින මහනුවර විශ්රාමික රදගුරු අති උතුම් බර්නාඩ් රෙඤ්ඤෝ (සා.බෙ.නි.) හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් සහ එවකට ත්රිකුණාමලයේ රදගුරු අති උතුම් ඉග්නේෂස් පිලිප් ග්ලෙනී (ජේ.නි.) හිමිපාණන්ගේ සහ එවකට යාපනයේ රදගුරු අති උතුම් ජෙරොම් එමිලියානුස්පිල්ලේ (නි.ම.නි.) හිමිපාණන්ගේ සහයෙන් සහ සමස්ත ලාංකේය රාජගුරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් මහනුවර කටුගස්තොට ශා. අන්තෝනි විද්යාල පරිශ්රයේ පැවතිණි. මෙතුමා රදගුරු ධූරයට පත්වූ වසරේදීම සිදුවූ රජය විසින් කතෝලික පාසල් රජයට පවරා ගැනීම සිදු කිරීම තුළ රදගුරුවරයෙක් ලෙස මෙතුමාගේ පළමු වසර කිහිපය ගත වූයේ කතෝලික අධ්යාපනය ලබා දෙන අධ්යාපනික ආයතන රැකගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම රජය සමග ගිවිසුම් වලට අවතීර්ණ සඳහාය. 1962 වසරේ සිට 1965 වසර දක්වා පැවති දෙවන වතිකාන මන්ත්රණ සභාව මෙතුමන්ගේ දිවියේ හැරවුම් ලකුණක් විය.
දෙවන වතිකාන මන්ත්රණ සභාවේ නව දේවධාර්මික සංකල්පයන් ඉතා දැඩි ලෙස සිත් වැදුණු අතර ඒ ඔස්සේ දේශීය සභාව නවෝදය කරා ගෙනයාම අරමුණු කරගත් සභාව තුළ ගිහි ක්රියාකාරිත්වය බලගැන්වීම, පූජක දිවිය/පුහුණුව කාලනුරුපී ලෙස නව්යකරණය කිරීම, කතෝලික-ක්රිස්තියානි මෙන්ම අන්තර් ආගමික සංවාදයකට මුල පිරිම සහ විශේෂයෙන් සාමය සහ සාධාරණත්වය උදෙසා හඬ නැගීමට මෙතුමා යොමු වූ අතර , එහෙත් මෙම නියාමනයන් ප්රායෝගිකව ක්රියාත්මක කිරීමේදී අවම වශයෙන් මුල් වසර කිහිපයේදී හෝ, අති උතුම් ලියෝ නානායක්කාර (සා.බෙ.නි.) හිමිපාණන් හට දැඩි විවේචන හා අභියෝග රාශියකට මැදිවීමට සිදුවිය. මන්දයත් සාම්ප්රදායිකත්වයෙන් මිදී නව චින්තන රටාවකට අනුව ක්රියා කිරීම එතුමාට ගැටළුවක් නොවුවත් අනෙකුත් සෙසු ශ්රේෂ්ඨයන්ට මෙන්ම පොදුවේ විශ්වාසිකයන්ට ගැටළුකාරී වූ බැවිනි. එවැනි ප්රායෝගික ගැටළු හමුවේ තවදුරටත් මහනුවර පදවිය තුළ තම නව දැක්ම ක්රියාවට නැංවීම අපහසු බව ප්රත්යක්ෂ වූ කල මෙතුමා මහනුවර පදවියට අයත්ව තිබූ ඌව ප්රදේශය වෙනම පදවියක් ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව පුජාප්රසාදිවරුන් සිව් දෙනෙකුගෙන් සහ පැවිදි නිකායික පුජාප්රසාදිවරුන් සතර දෙනෙකුගෙන් 1972 දෙසැම්බර් 18 වන දින දී ලක්දිව සත් වන රදගුරු පදවිය ලෙස ආරම්භ වූ බදුල්ල පදවියේ ප්රථම රදගුරුවරයා වශයෙන් අති උතුම් ලියෝ නානායක්කාර (සා.බෙ.නි.) හිමිපාණන්ව පත්කරනු ලැබිය. පදවියේ ආසන දෙව්මැදුර ලෙස බදුල්ල ජපමාල මෑණියන්ගේ දේවස්ථානය නම් විය. මෙතුමන්ගේ පදවි ප්රාප්තිය 1973 පෙබරවාරි මස 24 වන දින පැවැත්විණි.
ඒ අනුව එවකට රටේ ජරාජීර්ණ වූ දේශපාලන ප්රවාහයේ බිල්ලක්ව පැවති තරුණ ප්රජාව, වතු කම්කරුවන් ඇතුළු ප්රධාන සමාජීය ධාරාවන් තුළ ආන්තීකරණයට මෙන්ම නිරන්තර සූරාකෑමට ලක්වන දිළිඳු හා අසරණ ජන කණ්ඩායම් පෞද්ගලිකව බැහැදකිමින් ඔවුන්ව දිරිගන්වා යලි නගාසිටුවීම සඳහා ව්යාපෘතීන් ගණනාවක් මෙන්ම සංගම්, ආයතන රාශියක්ද බදුල්ල පදවිය තුළ සහ දීප-ව්යාප්තව ගොඩනැගුණි. ඌව සමාජ, ආර්ථික හා ප්රජා සංවර්ධන මධ්යස්ථානය හෙවත් USCOD, සුබසෙත් නිවස – අලුකලවිට – බුත්තල , සේවක සෙවන- බණ්ඩාරවෙල, දේවසරණාරාමය- ඉබ්බාගමුව …… ඒවායින් සමහරකි.
සාම්ප්රදායිකත්වයට එහා ගිය දැක්මකින් යුතු වූ අති උතුම් ලියෝ නානායක්කාර (සා.බෙ.නි.) හිමිපාණන් තම නව පදවියේ සේවය සඳහා අනාගතයේ පැමිණීමට සිටින පූජකවරුන් පුහුණු කරනු වස් ඔවුන්ව හුදෙක්ම න්යායාත්මක දැනුමකින් සන්නද්ධ කරනු වෙනුවට තම ඌව පළාතේ වෙසෙන ජනයාගේ අවශ්යතා හඳුනාගෙන ඒ අනුව හැඩගැසීමට හැකි ප්රායෝගික අත්දැකීම් මගින් පුහුණු කිරීමේ අරමුණ සහිතව දෙවන වතිකාන මන්ත්රණ සභාවේ නව දැක්මද ඊට අනුබද්ධ කරමින් නව දෙව්සත්හලක් “සේවක සෙවන” නමින් කොළඹදී ආරම්භ කර පසුව එය බණ්ඩාරවෙල කරා ගෙනයන ලදී. මුඩුක්කු තුළ, වතුකරයේ සහ දුෂ්කර ගම්මාන වල සිටින මිනිසුන් තුලින් දේවධර්මය ඉගෙන ගැනීමට හා ඔවුන් සමග උරෙන්’නුර ගැටෙමින් ඔවුන්ගේ වෘත්තීන් වල ඔවුන් සමගම නියැලීමට වැනි විශේෂ ප්රායෝගික අවස්ථාවන් මෙම දෙව්සත්හල් පුහුණුවට ඇතුළත් විය. විශේෂයෙන්ම ගරු.රොබට් ලක්හාට් නි.ම.නි සහ ගරු.මයිකල් රුද්රිගු නි.ම.නි පියතුමන්ලාගේ නොමද සහයෝගය සමග පවත්වාගෙන ගිය මෙම දෙව්සත්හල සඳහා 1975 දී ශුද්ධාසන අනුමැතිය පවා හිමි ව තිබුනද මෙතුමාගේ අභාවයත් සමගම මෙම දෙව්සත්හලේ ඉරණම ද තීරණය විය. තවද ගරු. ඇලෝසියස් පිරිස් ජේ.නි. පියතුමා, ගරු පෝල් කැස්පර්ස් ජේ.නි. පියතුමා, ගරු. තිස්ස බාලසුරිය නි.ම.නි පියතුමා සහ ඇන්ග්ලිකාන සභාවේ කුරුණෑගල පදවියේ රදගුරු ධූරය දැරූ ගරු. ලක්ෂ්මන් වික්රමසිංහ වැනි කැපී පෙනෙන චරිතයන් ලියෝ රදගුරුතුමන්ගේ නව දැක්මෙහි සමීපතමයන් විය. 1982 මැයි 28 දින මෙතුමා ස්වර්ගස්ථ වන විට වසර 23ක් රදගුරුවරයෙක් ලෙස ශ්රී ලාංකික කතෝලික සභාවට මෙන්ම ඉන් නොනැවතී ජාති,කුල,ආගම්,වර්ණ, පන්ති භේද නොතකමින් සමස්ත ලාංකික සමාජයටම මහඟු යුග මෙහෙවරක් ඉටු කර තිබූ මහා යුග පුරුෂයෙකි. එතුමන්ගේ හදිසි ස්වර්ගස්ථ වීමත් සමගම බදුල්ල රදගුරු වසමේ පදවි පරිපාලක ලෙස අති ගෞ. ඇලෙක්ස් රාජපක්ෂ පූජාප්රසාදිතුමන් අභිනව රදගුරුතුමකු පත්වන තෙක් සේවය කරන ලදී.
සටහන – අසේල දසනායක
විශේෂ ස්තුතිය – ගරු කෝකිල ප්රනාන්දු ( සා.බෙ.නි.) සහෝදරතුමා

බදුල්ල රදගුරු වසමේ යටගියාවත - 3 වන කොටස

දෙවන රදගුරු අති උතුම් එඩ්මන්ඩ් ජෝශප් ප්රනාන්දු (නි.ම.නි.) හිමිපාණෝ ( 1984.01.30 – 1997. 03.03 )
1968 වසර ලාංකේය රාජගුරු වංශාවලියට මෙන් ම ඉතා සුවිශේෂී වසරක් ලෙස ඉතිහාස ගතවේ. එනම් ශුද්ධාසනය විසින් 1968 අප්රියෙල් මස 09 වන දින අභිනව කොළොම්පුර සහයක රාජගුරුප්රසාදීන් වහන්සේලා ලෙස පුජාප්රසාදීවරු දෙනමක් නම් කිරීමය. ඉන් පළමුවැන්නා වූයේ 1921 මාර්තු 25 දින මීගමුව පිටිපන දී උපත ලබා 1949 අගෝස්තු මස 06 වන දින ඔබ්ලේට් නිර්මල මරිය නිකායික පූජාප්රසාදිතුමකු ලෙස පුදැදුරු වරම් ලැබූ අති උතුම් එඩ්මන්ඩ් ජෝශප් ප්රනාන්දු (නි.ම.නි.) හිමිපාණෝය. 1968 අප්රියෙල් මස 09 වන දින ශුද්ධාසනය විසින් අභිනව කොළොම්පුර සහයක රාජගුරු හා ඉගිල්ගීලි හි නාමධාරි රාජගුරු ලෙස නම් කෙරුණු අතර එතුමන්ගේ රාජගුරු අභිෂේකය 1965 ජුලි 17 දින කොටහේන ශා. බෙනඩික් විද්යාල පරිශ්රයේදී පැවතිණි. එය එවකට කොළොම්පුර අග්රරාජගුරුප්රසාදි අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ (නි.ම.නි.) හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවති අතර එතුමන්ට සහය දක්වන ලද්දේ එවකට ත්රිකුණාමලය සහ මඩකලපුව සහයක රාජගුරුප්රසාදි සහ මෝසොට්කොරි නාමධාරී රාජගුරු වසමේ රාජගුරුප්රසාදීන් වහන්සේ ලෙස පත්වූ අති උතුම් ජාකොබ් බැස්ටියම් දියෝගුපිල්ලේ හිමිපාණන් සහ ගාල්ල රාජගුරුප්රසාදිතුමන් අති උතුම් ඇන්තනි ද සේරම් හිමිපාණන්ය. අති උතුම් එඩ්මන්ඩ් ජෝශප් ප්රනාන්දු (නි.ම.නි.) හිමිපාණෝ කොළොම්පුර අග්රරාජගුරු වසමේ සහයක රාජගුරුප්රසාදීන් වහන්සේ ලෙස 1983 දෙසැම්බර් මස 05 වන දින දක්වා සේවය කළ අතර, අති උතුම් ලියෝ නානායක්කාර (සා.බෙ.නි.) හිමිපාණන්ගේ ස්වර්ගස්ථවීමෙන් හිස්ව පැවති බදුල්ල වසමේ දෙවන රාජගුරුහිමිපාණන් ලෙස මෙතුමන්ව නම් කරන ලදී. බදුල්ල වසමේ දෙවන රාජගුරුහිමිපාණන් ලෙස පදවිප්රාප්ත වුයේ 1984 ජනවාරි මස 30 වන දින දිය. මේ කාලයේදී යාචකයන් සහ ඔවුන්ගේ දරුවන් සදහා පැවති පුනරුත්ථාපන කදවුරේ විසු දරුවන් 14 දෙනෙකු සදහා විධිමත් අධ්යාපනයක් ලබාදී වර්තමානයේ ඔවුන් ඉහල නිලතල වල සේවය කරති. බදුල්ල පදවිය ආරම්භ වූ සමයේ පැවති ධර්මදුතික මධ්යස්ථාන දේවස්ථාන බවට පත්කොට එතුමන්ගේ සේවාකාලය තුළ මීසම් 13ක් සහ ලත්පදුර , උල්හිටියාව වැනි ස්ථාන සිද්ධස්ථාන බවට පත්කළ අතර කතරගම තුළ ධර්මදුතික මධ්යස්ථානයක් ආරම්භ කොට එහි ප්රැන්සිස්කාන සොයුරියන්ගේ සේවයට භාර කරන ලදී. ඉතා දිගු ගමනකට මුලපුරමින් එවකට අගරදගුරු වසම සතුවූ හපුතලේ ‘හාවර්ඩන්’ හි දෙව්සත්හල් පරිශ්රය බදුල්ල පදවියට ශා. එමාඩ් කනිටු දෙව්සත්හල ස්ථාපනය කරමින් එහි අධ්යාපනයෙන් පසුව අම්පිටිය ජාතික දෙව්සත්හලේ අධ්යාපනය සදහා පුජක සිසුන් යොමුකරන ලදී. පදවියේ බලාගාරය ලෙස බණ්ඩාරවෙල දිළිදු ක්ලාරා තාපසිකාරාමය ද ස්ථාපනය කිරීම ද මෙතුමන්ගේ යුගය තුළ සිදුවුණි. දැඩි විශ්වාසයේ ජිවිතයක් සහ පිතෘක ප්රේමය ද එතුමන්ගේ දිවියේ දක්නට ලැබෙන ප්රබල ලක්ෂණයකි. වර්තමානයේ පවතින බොහෝ ආයතන මෙතුමන්ගේ යුගය තුළ ආරම්භ වූ ඒවා බව සඳහන් කළ යුතුමය. බදුල්ල රාජගුරු වසමට නිහඩ මෙහෙවරක් සිදුකළ මෙතුමෝ 1997 මාර්තු මස 03 වන දින ඉසිඹු ලැබු අතර , 2004 ජුලි මස 16 වන දින මෙතුමන් ස්වර්ගස්ථ වුයේය.
සටහන – අසේල දසනායක

බදුල්ල රදගුරු වසමේ යටගියාවත - 4 වන කොටස

අති උතුම් ජූලියන් වින්ස්ටන් සෙබස්තියන් ප්රනාන්දු ( දි.ස.නි.) හිමිපාණෝ ( 1997. 03.03 සිට 2023. 01. 30)
බදුල්ල රදගුරු වසමේ තෙවන රාජගුරුප්රසාදීන් වහන්සේ සහ දිව්ය සත්ප්රසාද නිකායෙන් දැනට බිහිව ඇති එකම රාජගුරුප්රසාදීන් වහන්සේ ලෙස ඉතිහාසගත වන මෙතුමෝ 1945 ජනවාරි මස 16 වන දින මොරටුවේ දී උපත ලැබීය. පසුව සිය මූලික අධ්යාපනය මොරටුව ශා. සෙබස්තියන් විද්යාලයෙන් හදාරා දිව්ය සත්ප්රසාද නිකායට බැදී 1975 සැප්තැම්බර් මස 06 වන දින පුදැදුරු වරම් ලබන ලදී. 1997 මාර්තු මස 03 වන දින අති උතුම් එඩ්මන්ඩ් ජෝශප් ප්රනාන්දු (නි.ම.නි.) හිමිපාණන්ගේ ඉසිඹූ ලැබීමෙන් හිස්වූ බදුල්ල රදගුරු වසමේ තෙවන රාජගුරුප්රසාදීන් වහන්සේ ලෙස ශුද්ධාසනය විසින් මෙතුමන් ව පත් කරන ලදී. මෙතුමන්ගේ රාජගුරු අභිෂේකය 1997 වසරේ ජූනි මස 14 වන දින බදුල්ල ජපමාල දේවමාතා ආසන දෙව්මැදුරේ දී එවකට ශ්රී ලංකාවේ අපෝස්තලික තානාපති අති උතුම් ඔස්වාල්ඩෝ පඩිල්ලා අගරදගුරු හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් ද එවකට කොළඹ අගරදගුරු අති උතුම් නික්ලස් මාකස් ප්රනාන්දු හිමිපාණන්ගේ සහ බදුල්ල විශ්රාමික රදගුරු අති උතුම් එඩ්මන්ඩ් ජෝශප් ප්රනාන්දු (නි.ම.නි.) හිමිපාණන්ගේ සහයෙන් සහ ලක්දිව කතෝලික රාජගුරුප්රසාදීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවතිණි. එදිනම එතුමන්ගේ පදවි ප්රාප්තිය සිදු විය. මෙතුමන්ගේ එඬේරික සමය ඌව වෙල්ලස්සට රන් අකුරින් ලියැවෙන සමයක් යයි කිවහොත් එය නිවැරදි වේ. සිය දූත මෙහෙවර ආරම්භයේදීම අම්පිටිය ජාතික දෙව්සත්හලේ දී බදුල්ල පදවියේ දැක්ම නමින් කතිකාවතක් පවත්වා පදවියේ පූජක, ගිහි , පැවිදි සියල්ලන් හා එක්ව පදවියේ ප්රශ්න ගැටලු පිළිබඳව සහ ධර්මදානය පිළිබඳව කතිකා කොට සුළුතරයක් වන කතෝලික ප්රජාව සෙසු ජනකොටස් හා මාංශගතවන්නේ කෙසේද යන්න මෙහිදී කතිකා කරන ලදී. එමගින් එවකට පැවති මීසම් 13 වෙනුවට එය 21ක් දක්වා වර්ධනය වූ අතර ඒවායේ අඩුපාඩුකම් සොයා බලා සෑම මීසම කම පියතුමකු හට නවාතැන් ගත හැකි පමණින් බොහෝ අඩුපාඩුකම් සොයා බලා සැපයූ අතර, ඒ හේතුවෙන් ධර්මදානීය මෙහෙවර ද කාර්යක්ශම විය. තවද එතුමන්ට පෙර සේවය කළ අනුප්රාප්තික රදගුරුතුමන්ලා ඒ අනුව යමින් වතුකරයේ හා මහලු අය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදුකරන්නට මෙතුමාට හැකිවූ අතර, මේ නිසාම හාලිඇල ප්රදේශයේ දෙව් සරණ නමින් වැඩිහිටි නිවාසයක් දිව්ය හෘදයේ පැවිදි සොයුරියන්ගේ දායකත්වය තුළ අරඹන ලදී. තවද පූජක පුහුණුව ක්රමවත්ව විහිදුවාලීමටත් පූජක සිසුන්ට මෙන්ම පූජාප්රසාදිතුමන්ලා හට ද උසස් අධ්යාපනය හදාරන්නට විදේශගත වන්නට විශේෂයෙන් ශුද්ධාසනීය දෙව්සත්හල් වල අධ්යාපනය හදාරන්නට මෙහිදී හැකි වූ අතර, ඒ හේතුවෙන් ශුද්ධාසනීය සේවයේ යෙදෙන අති ගෞ. ඉදුනිල් ජනකරත්න වැනි මාහිමිපාණන්වරුන් මෙම ඌව වෙල්ලස්සෙන් බිහි වීම සුවිශේෂි වේ. තවද එතුමන්ගේ කාලයේදී පදවි පූජාප්රසාදිතුමන්ලාගේ සේවාව වඩාත් ක්රමවත් කළ අතර , මේ හේතුවෙන් වර්ථමානයේදී පදවි පුජාප්රසාදීතුමකු ම පදවියේ රාජගුරුප්රසාදීන් වහන්සේ ලෙස පත් වීම සුවිශේෂී වේ. තවද අති උතුම් එඩ්මන්ඩ් ජෝශප් ප්රනාන්දු (නි.ම.නි.) හිමිපාණන්ගේ සේවා සමයේ දී ආරම්භ වුණු බදුල්ලේ සෙන්ටර්ල් රෝහල වර්තමානය වන විට නවාංග වලින් සපිරි රෝහල වී ඇත. ලංකාවේ අපෝස්තුළුවරයාණන් ශු. ජුසේ වාස් මුනිතුමන් නමින් ඉදිකරන ලද පළමු මීසම ද මෙතුමන්ගේ සේවා සමයේ දී නමුණුකුල බල්ලේකෙටුව ග්රාමයේ දී ස්ථාපනය කෙරිණි. සිය එඬේරික සමය තුළ පදවියට නවාංගයක් ලෙස බණ්ඩාරවෙල, බදුල්ල සහ මොණරාගල ලෙස අභිනව දිසාවන් තුනක් ආරම්භ කළ අතර වචනයේ පරිසමාප්ත අර්ථනයෙන් ම එඩේරෙකු ලෙස බොහෝ දෙනාගේ ප්රශ්න ගැටලු හමුවේ සංවේදී වෙමින්, ඒවාට ඇහුම්කන් දෙමින් සැබෑ පීතෘක ප්රේමයෙන් එතුමෝ ක්රියාකරන ලදී. බදුල්ල රදගුරු වසමේ ස්වකීය එඩේරික මෙහෙවර රිදී ජයන්තියක් සපුරා එතුමෝ ඉසිඹු ලැබීම සුවිශේෂී වේ.

බදුල්ල රදගුරු වසමේ යටගියාවත - 5 වන කොටස

සිව්වන රදගුරු අතිගරු එච්චම්පුල්ලේ ආරච්චිගේ ජූඩ් නිශාන්ත සිල්වා මාහිමිපාණෝ ( 2023. 01. 30 සිට අද දක්වා )
කළුතර කටුකුරුන්ද ග්රාමයේ විසූ ජෝසප් සිල්වා හා මරියා ප්රනාන්දු යුවලට දාව පවුලේ 06 වන පිරිමි දරුවා ලෙස 1970 මැයි මස 05 වන දින එච්චම්පුල්ලේ ආරච්චිගේ ජූඩ් නිශාන්ත සිල්වා නමින් උපත ලබා සිය මූලික අධ්යාපනය කටුකුරුන්ද රෝ.ක. විදුහලෙන් ලැබ 1 – 8 ශ්රේණි දක්වා හදාරා පුදැදුරු ධුරයට සිත්යොමා එවකට කටුකුරුන්ද මීසම් සේවක ගරු ජුලියන් තිසේරා පියතුමාගේ මග පෙන්වීම මත 1985 වසරේදී කොළඹ සා. ඇලෝසියස් කණිටු දෙව්සත්හලට පිවිස 9 – 11 ශ්රේණි දක්වා අධ්යාපනය සහ පුජක පුහුණුව ලැබීය. ගරු ප්ලැසිඩස් සිල්වා පියතුමාගේ මගපෙන්වීම මත අ.පො.ස. උ/පෙ ගණිත විෂ්යය ධාරාව යටතේ හැදෑරිම සඳහා කොළඹ සා. ජෝසප් විදුහලට ඇතුලත් විය. උසස් පෙළ සඳහා වූ අමතර පංති වලට කනිටු දෙව්සත්හලේ සිට සහභාගී වීම අපහසු වූ බැවින් එකල අධ්යක්ෂ ලෙස කටයුතු කල ගරු සිරිල් ජෝසප් පියතුමාගේ උපදෙස් මත කණිටු දෙව්සත්හලෙන් නික්මී යළි නිවසට පැමිණ ඉගෙනුම් කටයුතු කර ගැනීමට සිදු විය. අ.පො.ස. උ/පෙළ විභාගය අවසන් වූ විගස එතුමා 1992 වසරේදී හපුතලේ සා. එමාඩ් කණිටු දෙව්සත්හලට ඇතුළත් වූයේ බදුල්ල පදවියේ පූජක සේවාවට අත්පොත් තබමිනි. කුඩා දෙව්සත්හල් සමයේදී දහම් පාසල් අධ්යාපනය, දහම් ගරු 1,2 හා 3 විභාගයන්, හා ඉංග්රීසි අධ්යාපනය ප්රගුණ කල එතුමා 1994 වසරේදී කලුතර දහම් සෙවන අතරමැදි දෙව්සත්හලට ඇතුලත් වී ගරු ප්රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් යටතේ පුහුණුව ලබා එම වසරේම සැප්තැම්බර් මස අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළත් විය. එහිදී දර්ශනවාදය, දේවධර්මය ආදී විෂ්යයානුබද්ධ දැනුමද, විනය, ක්රීඩාව, කණ්ඩායම් සහයෝගීතාව ආදී නායකත්ව පුහුණුවද ලැබීමට හැකි විය. තම දහම් සේවා වසර තුලදී වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය මීසම් වලද පදවියේ ආයතන කිහිපයකද සේවා පුහුණුව ලද එතුමා සහෝදරතුමකු ලෙස මඩොල්සිම මීසමේ ගල්ලූල්ල වතුයායේත් ලුණුගල මීසමේ අඩාවත්ත වතුයායේත් පස්සර මීසමේත් රැඳී සිටිමින් මීසම් සේවා පුහුණුවත්, මන්නාරම පල්ලිමුණෙයි මීසමේදී දමිළ බස හැදෑරිමත් සාර්ථකව නිම කරන ලදී. ජාතික දෙව්සත්හලේදී 2001 ජනවාරි මස තේවාචාර්යවරය ලබා 2001 ජූලි මස දෙව්සත්හල් පුහුනුව අවසන් කොට නැවත පදවියට පැමිණ 2001 ඔක්කෝම්බර් මස 02 වන දින තම උපන් ග්රාමය වූ කටුකුරුන්ද ග්රාමයේදී විශ්රාමික බදුල්ල රදගුරු අති උතුම් ජූලියන් වින්ස්ටන් සෙබස්තියන් ප්රනාන්දු ( දි.ස.නි.) හිමිපාණන් අතින් පූජකවරම් ලැබීය. දියතලාව මීසමේ සහයක පියතුමන් ලෙස සිය පූජක දිවිය අරභා ඉන් අනතුරුව හපුතලේ කුඩා දෙව්සත්හලේ සහයක පියතුමන් ලෙසත් පසුව එහි අධ්යක්ෂක ධූරයද දැරිය. ඉන් අනතුරුව වැඩිදුර අධ්යාපනය සඳහා රෝමයේ උර්බානියා විශ්වවිද්යාලයට ඇතුළත් වී සභා නීතිය හදාරා විවාහ අධිකරණ කටයුතු පිළිබඳ පුහුණුව හලාවත පදවියේ ආසන දෙව්මැදුරේ මාස (08) අටක් රැඳී සිටිමින් ලබා ගන්නා ලදී. 2010 වසරේ සිට බදුල්ල පදවියේ විවාහ අධිකරණ අධ්යක්ෂක හා ලේඛකාධිකාරි ලෙස කටයුතු කල එතුමා එම කාලය තුළදීම බිබිල මීසමේත් හා බදුල්ල ජපමාල මාතා ආසන දෙව්මැදුරේත් මීසම් සේවක පියතුමන් ලෙස සේවය කලේය. 2016 වසරේදී එතුමන් මුළු දිවයිනට සාම විනිසුරු ධූරයෙන් පිදුම් ලැබීය. 2023 ජනවාරි මස 30 වන දින ශුද්ධාසනය මගින් එතුමන් බදුල්ල පදවියේ සිව්වන රාජගුරුප්රසාදිතුමන් ලෙස පත්වීම් ලබන තෙක් බදුල්ල උස්කොඩ් කරිටාස් ආයතනයේ අධ්යක්ෂක පියතුමන් ලෙස කටයුතු කරන ලදී. බදුල්ල රදගුරු වසමෙන් ම පුදදුරු වරම් ලබා එම පදවියේ ම රාජගුරුප්රසාදිතුමන් ලෙස අබිසෙස් ලබන මෙතුමෝ ලක්සසුනට ද ඉතිහාස ගත වන්නාහ. මෙතුමන්ගේ රාජගුරු අභිෂේකය 2023ක්වූ අප්රියෙල් මස 22 වන දින බදුල්ල ජපමාල මාතා ආසන දෙව්මැදුරේ දී විශ්රාමික බදුල්ල රදගුරු අති උතුම් ජූලියන් වින්ස්ටන් සෙබස්තියන් ප්රනාන්දු ( දි.ස.නි.) හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් ද අනුරාධපුර රදගුරු අති උතුම් නෝබට් මාෂල් අන්ද්රාදී ( නි.ම.නි.) හිමිපාණන්ගේ මන්නාරම රදගුරු අති උතුම් ෆිඩේලිස් ලයනල් එමානුවෙල් ප්රනාන්දු හිමිපාණන්ගේ සහයෙන් සහ ලක්දිව රදගුරු මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
“අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා හිමිපාණෙනි,
ලාංකේය රදගුරු වංශාවලියේ සත්වන රදගුරු වසම වන ,
බදුල්ල රදගුරු වසමේ සිව් වන රදගුරුතුමන් ලෙස
දෙවිසමිඳාණන්ගේ සුවිශේෂී මෙහෙවර ලැබු ඔබ හට ,
ත්රිඑක සමිඳු රැකවරණින්ද,
පදවි නාමසාන්තුවරිය වන ජපමාල රාජේශ්වරියගේ ද,
ලංකා අපෝස්තුළුවර ශු. ජුසේ වාස් මුනිඳුන්ගේ යැදුම් මධ්යස්ථිය තුළ
නිදුක් නිරෝගී සුවසම්පත ලැබ
ඌව වෙල්ලස්සේ දේවජනතාව
සමිඳුන් කරා රැගෙන යන්නට වරම් ලැබේවා…..
ජේසු ක්රිස්තු ආරාධිත වේවා……….”